මුස්ලිම් ජනතාව ගැන වැරදි ආකල්පයක් ඇතිකර නොගත යුතුයි..- කතානායක

තමන් කවර ජාතියකට කවර ආගමකට කවර සංස්කෘතියකට අයත් වුවත් සියළුදෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බවත් කිසිවෙකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

අන්තවාදී උන්මත්තකයන් සුළු පිරිසක් නිසා සමස්ත මුස්ලිම් ජනතාව පිළිබඳව අයහපත් ආකල්පයක් ඇතිකර නොගත යුතු බවත් බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධව නැගී සිටීමට සූදානම් බවත් කෙසේ වෙතත් අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, බහුතර මුස්ලිම් ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කරන ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කරන නීතිවිරෝධී විවාහ පිළිබඳව නීති ගෙන ඒමටත්, පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනු ඇති බව කථානායකවරයා පැවසීය. දැනටමත් ලංකාවට ආගන්තුක බුර්කාව වැනි විලාසිතා තහනම් කරන ලෙස මුස්ලිම් සමාජයෙන් නිතිපතා ඉල්ලීම් ලැබෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ (28) දින කොළඹ 07 මහාභාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ඩී.බී ජයතිලක ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

එදා ඩී.බී ජයතිලක, ඩී.එස් සේනානායක වැනි නායකයන් සමඟ එක්ව මවුබිමේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීමට මුස්ලිම් නායකයන්ද ඉදිරිපත් වූ බවත් අන්තවාදීන් සුළු පිරිසක් හැරුණු විට මවුබිමේ අභිවෘධිය වෙනුවෙන් කැප වන විශාල මුස්ලිම් ජනතාවක් වර්තමානයේ ද ත්‍රස්ථවාදයට එරෙහිව පෙරට පැමිණ ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා

බුදුන් වහන්සේ ජාති ආගම් බේද කිසිවිට තැකුවේ නැහැ. ලෝකයේ සිටින සියළු මිනිසුන් එකම මිනිස් ජාතියකට අයත් බව උන්වහන්සේගේ ඉගැන්වීමයි. අන්තවාදීන් විසින් විකෘති කිරීමට උත්සාහ කළද ලෝකයේ සෑම ආගමකම හරය එයයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිලේඡත්වය මෙන්ම ඉන් සති තුනකට පමණ පසුව උද්ගත වූ අහින්සක මුස්ලිම් ජනතාව ඉලක්ක කළ අන්තවාදී ප්‍රහාරයන් ද එක ලෙස පිටු දැකීමට ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට හැකිවිය යුතුයි.

ඉතිහාසයේ නිදහස ලබන විට ජපානය සමඟ සම තත්වයේ සිටි අප වර්ථමානයේ සිටින පසුගාමී තත්වයට ප්‍රධානවම වගකිව යුත්තේ රටේ සාමකාමී ගමනට බාධා කළ බලවේගයි. එහිදී ප්‍රධාන වගකීම කල දුටු කළ වල ඉහ ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළ දේශපාලඥයන් භාරගත යුතුයි.

මේ රට මූලධර්මවාදයකට ගෙනයාමට සිහින දකින අන්තවාදීන් දකින්නේ හුදෙක් සිහිනයක්ම පමණයි. ඉස්ලාම් මූලධර්මවාදය තුළිනුත් ලොව පුරා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ අහින්සක මුස්ලිම් ජනතාවමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා සඳහන් කළේ ඩීබී ජයතිලක වැනි විශිෂ්ඨ බුද්ධිමතෙකු එදා රටේ අග්‍රාමාත්‍ය ධුරයට පවා පත්වනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ බවයි. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් රට අද පවතින තත්වය පිළිබඳව දැනෙන්නේනම්, නිදහසේ විරුවන් හඬාවැටෙනු ඇතැයි ද කථානායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *